Thursday, June 1, 2017

ලොවම හෙල්ලූ හොල්මන්
ඇත්තටම හොල්මන් කියල දෙයක් තියනවද? කවුද ඇත්තටම හොල්මන් දැකලා තියෙන්නේ? ඒ ගැන එක එක කතන්දර ගොඩක් ලෝකයේ තැන් තැන් වලින් දැනගන්න ලැබිලා තියනවා. ඒ වගේ ලෝකයේ හොල්මන් ඉන්නව කියලා කියන තැන් 8ක් ගැන හොයලා බලන්න එළියට බහින්නයි මේ හදන්නේ.
The Tower of London, England.
එංගලන්තෙ ලන්ඩන් කුලුන හොල්මන් වලට ගොඩක් ප්‍රසිද්ධ තැනක්. හිස නැති Anne Boleyn, Lady Jane grey වැනි අය මේ කුලුනේ සැරිසරන බව තමයි ආරංචි වෙන්නේ. මේ කතාව ලන්ඩනයේ විතරක් නෙමෙයි ලෝකයේම ඉතාමත්ම ප්‍රසිද්ධයි.
Banff Spring Hotel, Alberta, Canada.
කැනඩාවේ පිහිටි ඓතිහාසික හෝටලයක් ගැනයි මේ කියන්න යන්නේ. හිත චංචල කරන විදියේ අමනුෂ්‍ය ආත්මයන් කිහිපයක් ගැන මේ හෝටලයෙන් ආරංචි වෙනවා. මිය ගිය හෝටල් සේවකයෙක් මෙහි එන ආගන්තුකයන්ට උදව් කරපු අවස්ථා වගේම බාල් නැටුම් අංගනයේ ඝාතනයට ලක් වූ පවුලක්ද දැකගන්න ලැබෙනවලු.
Chateau de Brissac, Maine-et-Loire, France.
11වන ශතවර්ෂයේදී මෙම අලංකාර මාලිගයේදී ඉතා භයානක ද්විත්ව ඝාතනයක් සිදු වෙලා තියනවා. ඒකෙ ප්‍රතිඵලයක්‌ විදියට තමයි කොළ පැහැති ආර්යාව (Lady in Green) නැමති ආත්මය මෙම මාළිගයේ සැරිසරන්න පටන්ගෙන තියෙන්නෙ. කොළ පැහැති ඇඳුමක් ඇඳගත් අමනුෂ්‍ය ආත්මයක් මෙහි සැරිසරන අතර ඇයගේ මුහුණ කුණු වූ මළ සිරුරක මෙන් යැයි කියනවා. ඒ වගේම මාලිගාවේ ලතෝනි සද්දත් ඇහෙනවා කියලයි කියන්නේ.
Mary King’s Close, Edinburgh, Scotland.
ස්කොට්ලන්තයේ 16 සහ 17 වන ශතවර්ෂ වල විවිධ වෙළඳාම් කටයුතු සඳහා පොළව යට ඉදි කරන ලද උමං මාර්ගයක සැරිසරන ආත්මයන් පිළිබඳවයි දැන් කියන්න යන්නේ. මෙම උමං වල භූතාත්ම පිළිබඳ වාර්තා වෙන්නේ 17වන ශතවර්ෂයේ සිටයි. ඒ කාලයේ ඉඳලම විවිධ ආත්ම වලින් හිරිහැර සිදුවෙනව කියලයි කියන්නේ. විවිධ හේතු එක්ක මේ උමං මාර්ග පාළු, ජරාවාස තැනක් වෙලා. එත් හැබැයි පරණ පදිංචිකාරයන් නම් තවමත් එම උමං මාර්ග දාලා ගිහින් නැති බවයි කියන්නේ. ඔවුන්ගේ අඩි ශබ්ද, පසුපස හඹාගෙන එන ආත්ම, ශරීරයක් නොමැති වුවත් විවිධ ශබ්ද, කටහඬවල් ඉතා භයානක විදියට මෙම උමං තුළින් ඇහෙනවා කියලයි ආරංචිය. ඇනී නම් කුඩා ගැහැණු ළමයාගේ භූතාත්මය බොහෝ දෙනෙක් බියට පත් කොට ඇති බවයි කියන්නේ.
Old Changi Hospital, Changi, Singapore.
1930 වසරේදී එනම් දෙවන ලෝක යුධ සමයේදී ජපන් හමුදාව මෙම රෝහල අත්පත් කරගෙන මෙය ජපන් රහස් හමුදාවේ හිරගෙයක් බවට පත් කරගෙන සතුරන්ට වධහිංසා පමුණුවා ඇති බවයි සඳහන් වෙන්නේ. ඒ කාලයෙන් පසුව මෙහි අවතාර, හොල්මන් දැකගන්න ලැබෙනවා කියලයි කියන්නේ. මියගිය ලේ පෙරාගත් ජපන් සොල්දාදුවන්, කාන්තාවන්, පිරිමින්, ළමුන්ගේ ආත්ම මෙම රෝහලේ පහළ ශාලාවල කාමර අතර සැරිසරනවා කියලයි කියන්නේ.
High Gate Cemetery, London, England.
ලන්ඩන් වගේ ඉතා ජනාකීර්ණ ප්‍රධාන නගරයක හොල්මන් සැරිසරන තැනක් ගැන තමයි මේ කියන්න යන්නේ. කනත්තක් කියන්නේ කොහොමත් හොල්මන් ඉන්න තැනක්නේ. එත් මේ තැන ඊටත් වඩා භයානකයිලු. 1839 පිහිටවපු මේ කනත්තේ 170000කට වඩා පිරිසක් මිහිදන් කරලා තියනවා. ඒ වගේම බොහෝ අවිරල අත්භූත ආත්මත් මෙහි සැතපෙනවා කියලයි කියන්නේ. highgate වල වඩාත් ප්‍රසිද්ධම එවැනි චරිතයක් විදියට වැම්පයර්ගේ ආත්මය හඳුන්වන්න පුළුවන්. උස, කළු පැහැති දිග ලෝගුවක් හා උස තොප්පියක් පැළඳගෙන සිටින වැම්පයර් බිය ගන්වනසුළු බැල්මකින් යුතු ආත්මයක් විදියටයි සලකන්නේ. ඒ වගේම විවිධ අඳුරු ආත්මයන්, අසුබ අනතුරු අඟවන ඇස් සහිත ආත්මයන්, උන්මත්තක වයසක කාන්තාව සොහොන් අතර සැරිසරන අතර ඇය විසින් මරා දමන ලද කුඩා දරුවන්ගේ ආත්මද සොහොන් බිම් අතර සැරිසරනවා කියලයි කියන්නේ.
Aokigahara Forest, Mount Fuji, Japan.
ජපානයේ ඉතා භයානක තැනක් වන මෙම වනාන්තරය අමනුෂ්‍ය ආත්මයන්ගෙන් පිරිලා කියලයි කියන්නේ. සිය ගණනකට අධික පිරිසක් මෙම වනාන්තරයේදී සියදිවි හානි කරගෙන තියනවලු. එසේ මියගිය පිරිසගේ ආත්මයන් වගේම තවත් අත්භූත ආත්මයන් මෙම වනාන්තරයේ සැරිසරන බවයි වාර්තා වෙන්නේ. ජපන් ජනශ්‍රැතියේ එන විදියට මෙම වනාන්තරය යක්ෂයාගේ තැනක් විදියටයි සලකන්නේ.
Chateau de Chateaubriant, France.
ප්‍රංශයේ පිහිටි සුවිශාල මාලිගාවක් ගැනයි මේ කියන්න යන්නේ. 16වන ශතවර්ෂයට පෙර මෙම මාලිගාවේ හිමිකරුගේ බිරිඳ හදිසියේම මිය යනවා. එත් ඇය මියයන්නේ හදිසියේ නෙමෙයි. ඇය සහ එකල ප්‍රංශ රජු අතර තිබු අනියම් සම්බන්ධය හේතුවෙන් ඇගේ සැමියා ඇයව ඝාතනය කරනවා. ඇයගේ මරණය සිදු වූ දින එනම් සෑම ඔක්තෝම්බර් 16 දිනකදීම ඇයගේ කාමරය පුරා ලේ පැල්ලම් දැකගන්න ලැබෙනවාලු. ඒ වගේම ඇයගේ අවතාරය මාලිගාව පුරා සැරිසරනවා කියලත් කියනවා.

භයානක අත්දැකීම් වගේම තවත් රසවත් තොරතුරු හොයාගෙන එළියට බහිමු තවත් ලිපියකින්.

2 comments:

රෝල් ඩාල්

Roald Dahl සාහිත්‍ය මාසේ ඉපදුන ළමා පාඨකයා වෙනුවෙන් බොහෝ රසවත් කතා ලියපු කතාකරුවෙක් ගැන තමයි මේ එලියට බැහැලා හොයන්න යන්නේ. රෝල් ඩාල් ...